Saturday, December 28, 2019

ඇන්තනී සී. පෙරේරා සිංහල සිනමාවේ සිටි දක්ෂ චරිතාංග නළුවෙකු විය.

මහපටබැඳිගේ ඇන්තනී ක්‍රිස්මන් නිව්ලෝජියස් පෙරේරා 1921 සැප්තැම්බර් 13 වැනිදා හලාවත මහවැව වී හේනේ සිංහල කාතෝලික පවුලක උපත ලැබීය. ඔහුගේ පියා වූයේ  මහපටබැඳිගේ ලෝගුස් පෙරේරාය. හේ වතු පාලකයකු විය. ගම ජාඇළ තුඩැල්ලය. අම්මාගේ නම වර්ණසූරියගේ තියඩෝරා තිසේරාය. ඇන්තනී පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල විල්ප්‍රඩ් නම් සොහොයුරෙක් ද, බ්‍රියට්‍රිස් නම් සොහොයුරියක් ද වූහ. කුඩා කාලයේ සිටම කෙළිලොල් ජීවිතයක් ගත කළ ඇන්තනී මුලින්ම මවගේ ගම වූ මහවැව පාසලට ගිය අතර පසුව තාත්තාගේ ගම වූ තුඩැල්ලේ රෝමානු කතෝලික පාසලට වැඩිදුර ඉගෙනීමට ගියේය.ඇන්තනි ලාගේ මුළු පවුලම කුරුණෑගල පදිංචියට ගියේය අන්තන්ද එහිදී   බුදුපිටිය රෝමානු කතෝලික පාසලට ඇතුලත් විය එයින්ම අධ්‍යාපන කටයුතු අවසන් වුයේය.නාට්‍ය රංගනයට කැමැත්තක් වූ ඔහු ඒ සදහා වෙහෙසුනේය. 40 දශකයේ එවකට  නාට්‍ය සංගම් තුනක් පැවතී තිබේ  මීගමුවේ ජයමාන්නලාගේ 'මිනර්වා' කණ්ඩායම, සිරිල් සී. අබේරත්නගේ 'ජයනා' හා ඇන්තනීගේ ඥාතියකු වූ ලැඩී රණසිංහගේ ආකේඩියන්ස් නාට්‍ය කණ්ඩායම් මේවාය.ඇන්තනී ලැඩී රණසිංහ සොයා ගියේ නාට්‍ය රග පෑමේ ආසාව ඉටුකර ගැනීමටයි ලැඩී විසින් ඇන්තනීව එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි පී. ද ඇස්. කුලරත්න මහතාට හඳුන්වා දෙන ලදී. කුලරත්න මහතා මරදානේ ගාමිණී සිනමා ශාලාව තිබූ ඉඩමේ නැෂනල් නම් රංග ශාලාවක් පිහිිටුවා නාට්‍ය සංගමයක් ආරම්භ කොට නාට්‍යය පුහුණු කරමින් සිට ඇත. 'ඇවැස්ස බෑණ' කියන නාට්‍යයේ  මුලින්ම රගපෑමට අවස්තාව උදාවී තිබේ  රඟපෑම  ඉක්මනින්ම එපා වූ ඇන්තනි ගේ ඊලග  අරමුණ වුයේ  යුද්ධ හමුදාවට බැඳීම.හෝ  අශ්ව රේස්  ජොකියකු වෙලා අශ්වයකු පිට යාමයි.මේ දෙකටම අයදුම් පත් දැම්මා. එකම දිනයේ දෙකටම එන්න කියලා කැඳවීම් ලැබුණා.මෙයින්  1942 දී ඇන්තනි  බ්‍රිතාන්‍ය යුධ හමුදාවට බැඳීමට අවස්ථාව උදාකර ගත්තේය.වසර පහයි මාස 11 ක් කාන්තාරවල කැලෑවල සතුරන්ට විරුද්ධව මිත්‍ර රටවල්වල හමුදාවන් සමඟ සටන් කරන්නට සිදුවිය හරියට 'කව්බෝයි' චිත්‍රපටවල වගේ අත්දැකීමක් ලබා ගත්තේය .හමුදා සේවයත් නිමාකොට නැවත මෙරටට පැමිණි ඇන්තනි  රජයේ සේවයට බැදුනේය. කුරුණෑගල කච්චේරියේ සේවය කළ ඇන්තනී නහයට නාහන වයස නිසා නිලධාරීන්ගේ අසාධාරණ මත හා ගැටී එතැනින් ඉවත් වී කොළඹ බෲක්බොන්ඩ් සමාගමට නියෝජිතයකු ලෙස බැඳී එතැන වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා 1953 හර්තාලයට සම්බන්ධ විය. එකල ඔහු තද වාමාංශිකයෙකි. බෲක් බොන්ඩ් සමාගමේ ප්‍රධානියා  ඇන්තනීව මීගමුවේ කාර්යාලයට මාරු කළේ ඔහුගේ අවංක කැපවීම ගැන සළකාය.ඒ කාලේ ජාඇල රත්නාවලී සිනමාහල අයිති එච්. එම්. එල්. තිසේරා මහතා ඇන්තනීගේ හොඳ මිත්‍රයෙකි. තිසේරාගේ හොඳම මිත්‍රයෙක් වූ  සිනමාස් අධිපති කේ. ගුණරත්නම් මහතා.ගේ  සිනමාස් සමාගමේ චිත්‍රපට රත්නාවලී සිනමාහලේ තිරගත විය. ඇන්තනීට මේ වනවිට ඇන්තනිට  චිත්‍රපට නළුවෙකුවීමට කැමැත්තක් විය තිසේරා මහතා  ඇන්තනීව ගුණරත්නම් මහතා හමුවීමට ගෙන ගියේය.මේ අවස්ථාවේ හියුගෝ මාස්ටර් ද අහ්බුලෙස හමුවී හියුගෝ මාස්ටර් ගේ ද රෙකමදාරුව පිට 1956 සුරයා චිත්‍රපටයේ රංගන වරම් ලබා ගත්තේය 'දුප්පතාගේ දුක', 'සේපාලි', ' සූරසේන, 'වනමෝහිනී චිත්‍රපටවල රඟපෑ ඇන්තනී 'සන්දේශය' චිත්‍රපටයේ රණබෙරකාරයා විය. වීර විජය, සුභද්‍රා, චිත්‍රපටවල රඟපෑ ඔහු චරිතාංග නළුවෙකු වූයේ 'රන්මුතුදූව' චිත්‍රපටයේ මාමාගේ චරිතයෙනි. රන්මුතුදුවේ ඇන්තනී සමඟ ගාමිණී, ජෝ, ෂේන් මුහුදු වෙරළේ ගැයූ 'පිපී පිපී රේණු නටන වරෙන් මලක හැප්පිලා' (පසුබිම් ගායනය නාරද ඇතුළු පිරිස) ගීතමය දර්ශනය කිසිදා ප්‍රේක්ෂකයින්ට අමතක නොවේ පසුව ඇන්තනී සී. පෙරේරා සිංහල සිනමාවේ සිටි දක්ෂ චරිතාංග නළුවෙකු විය. 1953 වසරේ ඇන්තනී මෝදරගේ මේරි වාස් සමඟ විවාහ විය. ඔහු මේනකා, දීප්තිකා, ගෞරිකා, චෞද්රි, ෂෙරීන් බල්ගේරියාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරූ රෝහණ හා එමිල් නම් දූවරු පස් දෙනෙක් ද පුතුන් දෙදෙනකු ද සිටියහ. ඇන්තනී හැඳල විජය චිත්‍රාගාරයේ නිෂ්පාදන කළමනාකරු ලෙසද සේවය් යෙදී තිබේ .චණ්ඩියා චිත්‍රපටයේ අණ්ඩයා ලෙස පාදඩ චරිතයක් රඟපෑ ඇන්තනී 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටයේ ජගරියා ලෙස නගරයේ සූරවීරකම් කරන සූරයන්ගෙත් කෙනෙක් විය. 'සූර චෞරයා' චිත්‍රපටයේ හොර කල්ලියක සාමාජිකයෙකි. 'එදත් සූරයා අදත් සූරයා' හි ඔහු වරෙක අරාබිකාරයකු ලෙස සැරසී ඔටුවෙකු පිට නැඟී 'හා හා හැඩයි රූපෙ බෝනික්කි වාගේ සෝබනා' එම්. එස්. ප්‍රනාන්දු පසුබිමින් ගැයූ ගීතය ගයමින් රඟපෑවේය. 'අල්ලපු ගෙදර' විග් එකක් පැලද රගපෑ ගායකයා විය එම චිත්‍රපටයේ ඔහු සන්ධ්‍යාට පෙම් කළ පෙම්වතෙකි. සීයේ නෝට්ටුව චිත්‍රපටයේ ඍජු කපටියෙකි. ඔහු රඟපෑ සෙසු චිත්‍රපට අතර අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ, සසරක හැටි, යටගිය දවස, ඔබ දුටු දා, පිපෙන කුමුදු, සරුබිම, ඔක්කොම හරි, පුංචි බාබා, ආත්ම පූජා, හොඳම වේලාව චිත්‍රපට කැපී පෙනුණි. හොඳම වේලාව චිත්‍රපටයේ ඔහු චරිත පහක් රඟපෑවේය. බඩදරු අම්මා කෙනෙකු ලෙස රඟපෑ එක් චරිතයක් වඩාත් සිනහා රසය මතුකර ඇත.සිංගප්පූරු චාලි චිත්‍රපටයේ දෙබස් රචනා කොට විග් එකක් පැළඳ ඔහු රඟපෑවේ අමුතු චරිතයකි. හොඳින් ඉන්න චිත්‍රපටයේ තිර නාටකය කතාව දෙබස් තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කළේය. 1977 ට පසු ඔහුට චිත්‍රපටවල චරිත ලැබීම අඩු විය. මේ කාලයේ හැඩ්ලි චේස් නවකතාවලට ප්‍රිය කළ ඇන්තනී විවේකය ගෙවා දැම්මේ ඔහුගේ පොත් කියවීමෙනි. 1986 ඔහු 'යම ලොව පෙරළිය' නම් වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරමින් යම රජු ලෙස රගපෑවේය. ඔහු සෑම විටම තම ගුරුවරයා ලෙස සැලකුවේ හියුගෝ මාස්ටර්වය. තමා කිසි දිනක හියුගෝව අමතක නොකරන බව ඇන්තනි පුන පුන කියා ඇත.ඔහු කොතරම් අඟ හිඟකම් තිබුණත් අත පෑවේ නැත. සිනමා කර්මාන්තයේ දියුණුව ඉත සිතින් ප්‍රාර්ථනා කළ ඔහු චිත්‍රපට ඒකාධිකාරය වෙනුවෙන් හා නළු නිළියන්ගේ අයිතිවාසිකම් ගැන නිරතුරුව සටන් කළේය. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහි කිරීමට ඔහු පුරෝගාමී පිරිස අතර සෙන්පතියකු විය.තම වැඩිමල් පුතු හදිසි අනතුරකින් මිය යාම ඔහුට දැරිය නොහැකි දුකක් විය.1956 සුරයා ගෙන ආරම්භ  වූ සිනමා ගමන තුල චිත්‍රපට 70 වැඩි ප්‍රමාණයක් රංගනය කළේය.තක්කිට තරිකිට නමින් චිත්‍රපටයක් ද අධ්‍යක්ෂණය කළේය.  සසරක හැටි චිත්‍රපටය සදහා සරසවිය කුසලතා සම්මානයක් ලබා ඇත්තේය ඒ හැර රසික  ජනතාව ගේ සම්මානය නොමදව ලැබුවේය.  ඔහු වරෙක කට්ටඩියෙකි, වරෙක අණ්ඩයෙකි, තවත් වරෙක පෙම්වතෙකි, තම බිරියට බය වූ මිනිසෙකු ද, කොඩි ගහ යට සූරයෙකු වූ හෙතෙම ඔටුවෙක් පිට ගිය අරාබි කාරයෙකු ද, කලටියෙකු ද, මුස්ලිම් වෙළෙන්දෙකු, බඩදරු අම්මා කෙනෙකු ද, දැනමුතුකම් දෙන මාමා කෙනෙකු ද අණබෙර කරුවකු ද ලෙස විවිධ චරිත රඟපැවේය. ඔහු පසුව දෙබස් රචකයකු, සහාය අධ්‍යක්ෂවරයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස තම හැකියාවන් සිනමාවේ විදහා පෑවේය. තට්ට හිස ඔහුට වාසනාව ගෙනාවේය.1988 මැයි10 වෙනිදා ඇන්තනි ජීවිතයෙන් සමු ගත්තේය. ජාඇල තුඩැල්ලේ සුසාන භූමියේ ඔහු මිහිදන් වන අවස්ථාවේ ඔහුගේ ගුරුවරයා වූ හියුගෝ මාස්ටර් කතාවක් කරමින් මෙසේකියා ඇත "ඇන්තනී මාරයාගෙන් ටැලිග්‍රෑම් එක ආවේ මට. ඒක බැරිවීමකින් උඹට ආවේ. මම ඉක්මනට උඹ ඉන්න තැනට එනවා. එතෙක් බලාපොරොත්තුවෙන් හිටපන්".(.මෙම ලිපිය සැකසීමේදී සරසවිය කතෘ භුතවූ ප්‍රවීණ මාද්‍ය වේදී ඒ ඩී රන්ජිත්කුමාර යන්ගේ පල්කිරෙමකින් තොරතුරු ලබා ගත බව ගෞරවයෙන් සදහන් කරමි ...)

No comments:

Post a Comment