Thursday, December 26, 2019

නළු ලෝකයේ කඩවසම්ම මිනිසා ආදරණීය විජය කුමාරතුංග

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග විජය කුමාරණතුංග, ලෙසින් හඳුන්වන මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර , ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබීය.
මොහුගේ මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගැනීය. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි. සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක
( එස්.ඩ්බ්. ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ පුතෙකු (විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4 , පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර 'සිතිජය' නම් ගීත නාට්‍යයක රඟපා ඇත.
විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114 ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( "සහරාවේ සිහිනය"(1990) චිත්‍රපටයට - "වළාකුළක් ගෙන මුවා කරමු හිරු" සහ "දොළොස් මහේ පහන" චිතපටයට - "සාරා ගුවන විද නැගුන"). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100 කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී "ගොඩ් කින්ග්" නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම "නැංගුරම්" නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය "වරදට දඬුවම්"(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය "ඇය ඔබට බාරයි" එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.
විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. සමනලයකු මෙන් අහිංසක ඔහු ඝාතනය කිරීම මනුෂ්‍ය වර්ගයාටම කල පාඩුවක් බව ඔහු ගේ අගය දන්නෝ අදත් විස්වාස කරති. එතුමා ගේ ජන්ම දිනය වූ අද එතුමාට උපහාරය පිණිස මේ ලිපිය පල කරන ලදී...... එතුමාට සගමොක් සුව අත්වේවා ...

No comments:

Post a Comment